දුක් විඳීම අර්ථවත් කිරීම

දුක් විඳීම අර්ථවත් කිරීම

සාරාංශය

අද බොහෝ පුද්ගලයින් හිරිහැර හා අපයෝජනයන්ට ලක්වේ. යේසුස්වහන්සේත් දුක් විඳීමේ ජීවිතයක් ගතකළ සේක. උන්වහන්සේ අන්‍යයන්ට උපකාර කළසේක, ඔවුන් සුව කළසේක, ඔවුන්ට වඩා හොඳ මගක් ඉගැන්වූසේක. සමහර මිනිසුන් උන්වහන්සේට වෛර කර උන්වහන්සේව මරා දැමුවෝය, නමුත් දින තුනකට පසු උන්වහන්සේ නැවත ජීවනයට පැමිණ ස්වර්ගයේ වැඩ සිටින තම පියාණන් වෙත ආපසු ගියසේක. මෙම පත්‍රිකාව යේසුස්වහන්සේගේ ජීවිතය සහ දුක් විඳීම පිළිබඳ කෙටි විස්තරයක් මෙන්ම අපගේ බිඳුණු හදවත් සුව කරන බවට උන්වහන්සේ දුන් පොරොන්දුව ඉදිරිපත් කරයි.

බාගත කරන්න

“තවත් ගැහැණු දරුවෙක්!” එය ඔහුට පිළිකුලක් විය. ඔහුටත් ඔහුගේ බිරිඳටත් ඒ වන විට ගැහැණු ළමුන් දෙදෙනෙක් සිටියහ. “අපිට ඕනේ පුතෙක්! තවත් දියණියක් නෙමෙයි!” ඔහු චයිලායි නම් දැරිය, තම ඥාති සොයුරියන් වෙත යැවීය. නමුත් චයිලායිට ඔවුන්ගේ නිවසේ ජීවිතය, භයංකර සිහිනයක් විය. “ඔයා ඉස්කෝලේ යන්න බැරි තරම් මෝඩයි,” ඇයව බලා ගත් දෙමාපියන් කෑගැසුවෝය. ඒ වෙනුවට ඔවුන් ඇයව වහලියක් සේ වැඩ කරන්නට සැලැස්වීය. නිරතුරුවම අපයෝජනයට සහ හිරිහැරවලට ලක් වූ චයිලායි, ලැජ්ජාවෙන් හා කෝපයෙන් පීඩා වින්දාය. ඇයට ආදරය කරන කිසිවෙක් නැති බව, ඇයට හැඟෙන්නට විය.

ඔබ චයිලායි ගේ වගේ කතා අසා තිබෙනවාද? සමහරවිට ඔබත් අසාධාරණ සැලකීම්වලට යටපත් වී වේදනාවෙන් මිරිකෙන්නට ඇත.

වේදනාව දරාගත නොහැකි යැයි හැඟෙන විට, අපි එයින් පැන යාමට උත්සාහ කරන නමුත්, බොහෝ අවස්ථා වලදී තමන්ටත්, අනුන්ටත් හානි පමුණුවන ලෙස ක්‍රියා කරයි. තවත් සමහර අවස්ථාවන් වලදී, අපේ අතීතයේ නරක දෙයක් දැන් අපේ දුකට හේතු වී ඇති බව සිතෙන්නට පුළුවන. එහෙත් ඒ සිතුවිල්ලේ සැනසීමක් නැත. එය තවත් බියක් සහ කලකිරීමක් එක් කරයි. අපගේ වේදනාව හා අවාසනාව අවසන් වනු ඇතැයි බලාපොරොත්තුවක් තිබේද?

චයිලායි ඇතුළු මිලියන සංඛ්‍යාත ජනයා යේසුස්වහන්සේගේ සැබෑ අනුකම්පාව සහ ප්‍රේමය තුළ, තම බලාපොරොත්තුව සොයාගෙන ඇත. 

යේසුස්වහන්සේ කවුද?

පුරාණ ගුරුවරයා වූ යේසුස්වහන්සේ උපත ලැබුවේ, ඉතා දුප්පත් පවුලක ය. උන්වහන්සේගේ උත්පත්තියෙන් ටික කලකට පසු ඔවුන්, ප්‍රචණ්ඩ රජ කෙනෙකුගෙන් ආරක්ෂා වන පිණිස, ඊජිප්තුවට පලා ගොස්, සරණාගතයින් මෙන් ජීවත් වූහ. එම නපුරු රජ නැසුනායින් පසු, ඔවුන් නැවතත් ඉශ්‍රායෙල් දේශයට පැමිණ එහි නාසරෙත් නම් නරක නාමයක් ඇති නුවර, වාසය කළහ. මෙය විශිෂ්ට ගුරුවරයෙකුට බිහිසුණු ආරම්භයක් ලෙස පෙනේ.

යේසුස් යන නාමයේ අර්ථය නම් “දෙවියන්වහන්සේ ගළවා ගන්නා සේක” යන්නයි. යේසුස්වහන්සේ ඉපදීමට වසර හත්සියයකට පෙර, ගැළවුම්කරුවෙකු ලෝකයට පැමිණ, උන්වහන්සේ විසින් ගළවා ගැනීමට පැමිණි අය මෙන් දුක් විඳින බව, අනාවැකිවල සඳහන් වේ. උන්වහන්සේගේ මෙහෙය වනුයේ, දුකට පත් වූවන්ට උපකාර කිරීම මෙන්ම දුක හා මරණය අවසන් කිරීමයි. 

යේසුස්වහන්සේගේ සැබෑ මිත්‍රත්වය

ක්‍රිස්තියානි ශුද්ධ ග්‍රන්ථය වන බයිබලය, යේසුස්වහන්සේ දුක්විඳින අයට සමීප වූ ආකාරය පිළිබඳ බොහෝ කථා වාර්තා කරයි.

එක්තරා දවසක යේසුස්වහන්සේ උගන්වමින් සිටි තැනට දරුණු චර්ම රෝගයක් වැළඳී සිටි අයෙක් පැමිණියේය. ඔහුගේ ශරීරය තුවාල වලින් වැසී තිබුණු අතර ඒවා ගඳ ගසන්නට විය. ඔහු ලැජ්ජාවෙන් හා බලාපොරොත්තු සුන්වූ ලෙස ජීවත් වූයේ, එවැනි රෝගයන් වැළදී ඇත්තේ ඔවුන් පෙර කළ වැරදි නිසා බව එකළ සමාජය විශ්වාස කළ බැවිනි. නමුත් යේසුස්වහන්සේ ඔහු ළඟට ගොස් ඔහුව ස්පර්ශ කළ සේක. එකෙනෙහිම, ඔහු සුවපත් විය! 

තවත් අවස්ථාවක දී, සොහොන් ගෙවල් වල ජීවත් වූ, නිතරම මොරගසමින් ද ගල්වලින් කපගනිමින්ද සිටි, යක්ෂයාවේශ වූ මනුෂ්‍යන් දෙදෙනෙක් යේසුස්වහන්සේට සම්බ විය. ඔවුන් යේසුස්වහන්සේ දුටු කළ, ඔවුන්ගෙන් පහව යන ලෙස ඒ යක්ෂ ආත්ම, උන්වහන්සේගෙන් ඉල්ලුවෝය. නමුත් යේසුස්වහන්සේ, ඒ ආත්මයන්ට දුරු වේවා යයි අණ කළ සේක. ඒ ආත්මයන් උන්වහන්සේට කීකරු වූ අතර, ඒ මනුෂ්‍යන්ගේ සිහි කල්පනාව නැවතත් ඔවුන්ට ලැබිණි.

පසුව, තවත් දවසකදී, පස් වතාවක් විවාහ වීම නිසා සමාජයෙන් කොන් වූ කාන්තාවක් යේසුස්වහන්සේට මුණ ගැසුණි. යේසුස්වහන්සේ ඇය සමඟ කාරුණිකව කතා කිරීම, ඇයගේ පුදුමයට කරුණක් විය. ඇගේ ප්‍රීතිය කෙතරම්ද යත්, ඇයට බලාපොරොත්තුවක් දුන් ගුරුවරයා බැලීමට ඇය දන්නා සියලු දෙනාම කැඳවාගෙන ආවාය.

දුක්විඳින මිතුරෙක්

මෙතරම් බලවත් සුව කරන්නෙක් මෙන්ම කාරුණික ගුරුවරයෙක්, සියල්ලන්ගේම ආදරය ලබන්නට ඇති බව ඔබ සිතනවා ඇත. ඇත්තවශයෙන්ම, උන්වහන්සේ බොහෝ දෙනෙකුගේ ආදරයට පාත්‍ර විය. නමුත් ආගමික ගුරුවරුන් යේසුස්වහන්සේගේ ජනප්‍රියත්වයට ඊර්ෂ්‍යා කළ අතර උන්වහන්සේව විනාශ කිරීමට උපායයන් යෙදූහ.

තමාට බොරු චෝදනාවන් එල්ල කර, මරා දමන බව යේසුස්වහන්සේ තම ගෝලයන්ට ප්‍රකාශ කළසේක. මනුෂ්‍යයන්ගේ වේදනාවලට ඇතුල් වී, ඔවුන්ගේ හදවත් පරිවර්තනය කිරීම, දෙවියන්වහන්සේගේ සැලැස්ම බව උන්වහන්සේ පැහැදිලි කළසේක. තමන් තුන් වන දින නැවත මළවුන්ගෙන් නැගිටින බව උන්වහන්සේ ඔවුන්ට අනාවැකි පැවසූ සේක. නමුත් තම ආදරණීය ගුරුවරයා මෙතරම් දරුණු ලෙස දුක් විඳින්නට යන බව, උන්වහන්සේගේ ගෝලයන්ට පිළිගත නොහැකි විය. ඔවුන් උන්වහන්සේව ආරක්ෂා කිරීමට අධිෂ්ඨාන කර ගත්හ. 

කණගාටුවට මෙන්, යේසුස්වහන්සේ කියූ ලෙසටම එය සිදු විය. එක් ගෝලයෙක් යම් මුදලකට කෑදරකමින්, යේසුස්වහන්සේව පාවා දුන්නේ, මැදියම් රැයේ රෝම සොල්දාදුවන්ට උන්වහන්සේව අල්ලා ගැනීමට උදව් කරමිනි. අනෙක් ගෝලයෝ බියෙන් පලා ගියහ. රෝම ආණ්ඩුව පෙරලන්න හදනවා යැයි බොරු සාක්ෂිකාරයෝ උන්වහන්සේට චෝදනා නැගූහ. යේසුස්වහන්සේව වරදකාරයෙක් බවට පත් කර, අමානුෂික ලෙස පහර දී, ලී කුරුසියක ඇණ ගැසූ උන්වහන්සේ, මහත් වේදනාවකින් තම හුස්ම හළ සේක.

අපේ දුක් වේදනා තුළ බලාපොරොත්තුව

යේසුස්වහන්සේගේ මිනිය සොහොන් ගෙය තුළ තැන්පත් කරද්දී, උන්වහන්සේගේ මව සහ අනුගාමිකයන් හැඬුහ. සොල්දාදුවන් සොහොන් ගෙය මුද්‍රා තබා ඉන් පිටත මුරකරුවන් තැබූහ. නමුත් තුන්වෙනි දවසේදී මහත් භූමිකම්පාවකින් සොහොන් ගෙය ඇරී, යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටි සේක. 

යේසුස්වහන්සේ තම ගෝලයන්ට දර්ශනය වූ විට, ඔවුන්ට ඔවුන්ගේ ඇස් අදහාගත නොහැකි විය! යේසුස්වහන්සේට අවශ්‍යම මොහොතේ ඔවුන් පලා යෑම ගැන උන්වහන්සේ ඔවුන්ට කමා කළ සේක. දුක් විඳීම සහ මරණය නිමා කරන දෙවියන් වහන්සේගේ සැලැස්ම පෙන්වමින්, උන්වහන්සේ තම ගෝලයන්ට බයිබලයෙන් උගන්වමින් කාලය ගත කළ සේක. යේසුස්වහන්සේ තමන්ගේ ගළවා ගැනීමේ මෙහෙය අවසන් කර නැවත පැමිණෙන දවසට සූදානම් වන ලෙස, සියලු දෙනාටම පවසන මෙන්, උන්වහන්සේ ඔවුන්ට අණ කළ සේක. ඉන්පසු යේසුස්වහන්සේ නැවත ස්වර්ගයට නැගුණු සේක. 

මගේ වේදනාවට ඇතුල් වන මිතුරෙක්

කාටත් අවශ්‍ය නොවූ චයිලායි, යුද්ධයකදී පලා ගිය සරණාගත කඳවුරේ සේවය කරන කරුණාවන්ත මිනිසුන්ගෙන් යේසුස්වහන්සේ ගැන ඉගෙන ගත්තාය. ඇය බයිබලයෙන් කතන්දරවලට සවන් දුන් අතර දුක් වේදනා සහ මරණය අවසන් කිරීමට දෙවියන්වහන්සේගේ සැලැස්ම ගැන ඉගෙන ගත්තාය. තම ලජ්ජාවෙන් සහ දුක් විඳීමෙන් මුදවා ගැනීමට දෙවියන්වහන්සේට උපකාර කළ හැකි බව චයිලායි දැන සිටි නිසා, ඇගේ හදවත සුව කරන ලෙස ඇය උන්වහන්සේගෙන් ඉල්ලා සිටියාය. දෙවියන්වහන්සේ ඇගේ වෛරය සහ තිත්තකම වෙනුවට සමාව සහ දයානුකම්පාව දුන් සේක. අද ඇය සියල්ලන්ට පවසන්නේ, දෙවියන්වහන්සේ ඇයව සෝදා පිරිසිදු කළ ආකාරයත්, ඇයව උන්වහන්සේගේ දියණිය ලෙස හඳුන්වන ආකාරයත්ය.

ඔබගේ ප්‍රතිචාරය කුමක් ද? ඔබත් යේසුස්වහන්සේව හමුවීමට කැමතිද? ඔබට දෙවියන්වහන්සේට මේ ආකාරයෙන් කතා කළ හැකිය: 

ආදරණීය දෙවියන්වහන්ස, මා විඳ ඇති වේදනාව තේරුම් ගැනීම ගැන ඔබට ස්තූතියි! (ඔබේ දුෂ්කරතා මෙහි පැහැදිලි කරන්න). දුක් විඳීමෙන් අපව ගළවා ගැනීමට යේසුස්වහන්සේ එවීම ගැන ඔබට ස්තූතියි! මට කරුණා කරමින්, මගේ හදවත සුව කර, සමාදානයේ සහ සමාව දීමේ ආත්මයක් මට දුන මැනව. ආමෙන්.

ඔබ යේසුස්වහන්සේ ගැන, සහ ඔබ දුක්විඳින අවස්ථාවලදී උන්වහන්සේ ඔබට උපකාර කරන්නේ කෙසේද යන්න ගැන වැඩි විස්තර දැනගැනීමට කැමති නම්, කරුණාකර මෙම පත්‍රිකාවේ පිටුපස ඇති තොරතුරු වලින් අප හා සම්බන්ධ වන්න.

Copyright © 2023 by Sharing Hope Publications. අවසරයකින් තොරව වාණිජ නොවන අරමුණු සඳහා මුද්‍රණය කර බෙදා ගත හැක.

අපගේ පුවත් පත්‍රිකා වසඳහා ලියාපදිංචි වන්න

නව ප්‍රකාශන ලබා ගත හැකි විට මුලින්ම දැන ගන්න!

newsletter-cover