තරහ අභිබවීම

තරහ අභිබවීම

සාරාංශය

සෑම අයෙකුම තරහ අත්විඳියි - නමුත් අප අපගේ තරහවට ඇලී සිටියොත්, එයට අපව විනාශ කළ හැකිය. මෙම පත්රිකාව ප්රකාශ කරන්නේ යේසුස්වහන්සේ අන් අයට - උන්වහන්සේව මරා දැමූ මිනිසුන්ට පවා සමාව දුන් ආකාරය ගැන ඉගෙනීමෙන් ජීවිතය වෙනස් වූ මිනිසෙකුගේ කතාවයි. අපි යේසුස්වහන්සේව අනුගමනය කරනවා නම්, උන්වහන්සේ අපව වෙනස් කර බොහෝ සෙයින් උන්වහන්සේට සමාන කරවනසේක. අපගේ ජීවිත තුළින් දෙවියන්වහන්සේට මහිමය දෙන පිණිස උන්වහන්සේ අපගේ තරහ සහ අපවිත්රකම පහකර දමනසේක.

බාගත කරන්න

“අනිත් හැම කෙනෙක්ටම වගේ ඇයටත් ඇගේ දරු ප්‍රසූතිය, ගමේ කරන්න පුළුවන්.” ඩරා ගේ නැන්දම්මා තදින්ම කියා සිටියාය. “අපට මිල අධික රෝහලක් ඕනේ නෑ.”

ඩරා ඒ ගැන කරදර විය. ඔහුගේ බිරිඳ එතරම්ම ශක්තිමත් නොවූ බැවින්, ඔහුට අවශ්‍ය වූයේ ඇයව හොඳ වෛද්‍යවරයෙකු ළඟ තැබීමටය. “නැන්දම්මා එක්ක වාද කරලා වැඩක් නැහැ” ඔහු මිමිණීය.

ඇගේ දරු ප්‍රසූතිය ආරම්භ වූ නිසා ඩරාට පැල්පතෙන් එළියට වී බලා සිටීමට සිදු විය. ඇගේ කෑ ගැසීම බොහෝ සෙයින් වැඩි වී එක්වරම නිහඬ විය. සියල්ල අවසානයේදී ඔහුගේ නැන්දම්මා පිටතට පැමිණියාය. තම ආදරණීය බිරිඳත්, මිල කළ නොහැකි දරුවාත් තමන්ට අහිමි වූ බව දැන ගැනීමට, තම නැන්දම්මාගේ එක බැල්මක් පමණක් ඔහුට ප්‍රමාණවත් විය. ඔහුගේ සියලු සිහිනත්, ප්‍රීතියත්, වැළලී ගියේ ඔවුන් සමඟමය.

කාටත් කියා ගත නොහැකි වූ දුක සහ කෝපය කෙමෙන් ඔහුගේ සිත අරක් ගත්තේය. “එයාලා අද රෝහලේ සිටියා නම්, මගේ නැන්දම්මා මෙච්චර හිතුවක්කාර නොවුනා නම් හැම දේම වෙනස් වෙන්න තිබුණා!” ඩරාගේ හදවත බෙරිහන් දෙන්නට විය. 

ඔහුගේ ජීවිතය විනාශ කළ මේ ස්ත්‍රීය ගෙන් වෙන්වීමට ඩරාට සිදු විය. ඔහු තම බඩු සියල්ලත් රැගෙන හොර රහසේම පිටත්ව ගියේය. 

කෝපයෙන් පැන යාම

ඩරා තම සොයුරිය වන මලී සහ ඇගේ සැමියා වන ට්‍රේ සමඟ නැවතීමට අගනුවරට ගියේය. එදින රාත්‍රියේ ඔහු තනිව වැතිරී සිටියේ නොනිදාමය. ඩරාගේ කෝපය ඔහු පසු පස හඹා ආවේ කළු වලාකුළක් ලෙසය. ඔහුට වෙන කිසිවක් සිතා ගත නොහැකි විය. 

වාසනාවකට මෙන්, ඩරා තම සොයුරියගේ පවුලේ අය සමඟ ගත කළ සන්ධ්‍යාවන්, ඔහුගේ සිතට කුඩා හෝ සැනසීමක් ගෙන දුන්නේය. එකට එකතු වී කෑම කෑ පසු, අලංකාර ගීතිකා ගැයීමත් ට්‍රේගේ කතන්දර ඇසීමත් ඔවුන්ගේ පුරුද්ද විය. මෙම කතා ඩරාගේ ළමා කාලයේ ජනප්‍රවාද සහ ප්‍රබන්ධවලට වඩා බෙහෙවින් වෙනස් විය. ඒවා ක්‍රිස්තියානි ශුද්ධ පොතෙන්, එනම් බයිබලයෙන් උපුටා ගැනිණි. පරිපූර්ණ සාමකාමී පාරාදීසයක් ලෙස ලෝකය මැවූ ආදරණීය දෙවි කෙනෙකුගේ කතාව, ඩරා කවදාවත් අසා තිබුණේ නැත. වඩා සතුටු විය හැකි යයි සිතා, තමන්ගේ ක්‍රමය අනුගමනය කරමින්, තම මැවුම්කරුවාණන්ට විරුද්ධව කැරළි ගැසූ මුල් මනුෂ්‍යන් ගැන ඔහු ඉගෙන ගත්තේය. ඔවුන්ගේ මෙම භයානක තේරීම, පරිපූර්ණ ලෝකයට නපුර, දුක් වේදනා සහ මරණය හඳුන්වා දුන්නේය.

දිනක් ඩරා තම නැන්දම්මා කෙරෙහි ඇති කෝපය ගැන ට්‍රේට කීවේය. තමා වධ විදින්නාවූ තික්තකම සහ මානසික අවපීඩනය ගැන ට්‍රේට පැහැදිලි කළේය. ට්‍රේ නිහඬව අසා සිටියේය. අවසානයේ ඔහු පැවසුවේ “ඩරා, මට තේරෙනවා. මම ගොඩක් භයානක දේවල් යුද්ධ සමයේ අත් වින්දා. ඒත් මම සැනසීම හොයාගත්තා. ඔබේ සිතේ තියන කෝපය, ඔබේ පවුල නැවත ගෙන එන්නේ නෑ. ඒක හරියට අත් බෝම්බයක් පපුවට තියාගෙන ඉන්නවා වගේ. ඒක ඔයාව විනාශ කරයි!”

ඩරා ඔහුගේ මුහුණ වසා ගත්තේය. “මට ඒක කරන්න බැහැ,” ඔහු කෙඳිරි ගෑවේය. “මම ඉස්සර මගේ බිරිඳගේ දෙමාපියන්ට ආදරය කළා, නමුත් දැන් මම ඔවුන්ට වෛර කරනවා. මට කවදාවත් එයාලට සමාව දෙන්න බෑ.”

වෛරය නැමැති බිම්බෝම්බය

ට්‍රේ හිස සැලුවේ ය. “මනුෂ්‍යන්ට ඒක කරන්න බැහැ. නමුත් අපේ මැවුම්කරුවාණන්ට උදව් කරන්න පුළුවන්.”

“දෙවියන්වහන්සේ?” ඩරා ඇසීය. “මම ඔයාගේ කතන්දර අහගෙන හිටියා. හැබැයි මම කොහොමද දන්නේ ඒවා ඇත්ත කියලා? දෙවියන්වහන්සේ කොහොමද මට උදව් කරන්නේ?”

ට්‍රේ සිනාසුනා. “මනුෂ්‍යයෝ මේ පරිපූර්ණ ලෝකය අවුල් කළ ආකාරය ඔබ බයිබලයෙන් ඉගෙනගෙන තිබෙනවා. දෙවියන්වහන්සේට ඔවුන් ගැන කෝප වෙන්න තිබුණා, නමුත් උන්වහන්සේ එසේ කළේ නැහැ. ඒ වෙනුවට, උන්වහන්සේ ඔවුන්ට ආදරය කළා, මනුෂ්‍යන් සහ මේ ලෝකය නැවත යථා තත්ත්වයට පත් කරන පිණිස අපිට සැලැස්මක් ඉදිරිපත් කළා. ඊටත් වඩා, අපි දැන් යාච්ඤා කරන විට, අපිට උදව් කරන්න දෙවියන්වහන්සේට පුළුවන්. මම කොහොමද දන්නේ? ඒ උන්වහන්සේ මටත් උදව් කරලා තියන නිසා. මම තවදුරටත් කෝපයෙන් පීඩා විඳින්නේ නැහැ.”

ට්‍රේ තවත් කතා කරමින්. “දෙවියන්වහන්සේගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මේ ලෝකයට ආවේ අපේ සිත්, අපේ මැවුම්කරුවාණන් දෙසට යොමු කිරීමටයි. ආගමික නායකයන් යේසුස්වහන්සේගේ ඉගැන්වීම් සහ සුවකිරීම් නිසා උන්වහන්සේගේ ජනප්‍රියත්වය ගැන අතිශයින් ඊර්ෂ්‍යා කළා. උන්වහන්සේව මරන්න ක්‍රමයක් හැදුවා. ඔවුන් උන්වහන්සේට බොරු චෝදනා කර, පහර දී, ලී කුරුසියක ඇණ ගැහුවා. එහිදී උන්වහන්සේ මිය ගියා.”

“එය ඛේදජනකයි!” ඩරා බාධා කළේය. 

“ඔව්, නමුත් යේසුස් ඔවුන්ට විරුද්ධව සටන් කළේවත් ඔවුන්ට ශාප කළේවත් නැහැ. ඒ වෙනුවට, උන්වහන්සේ ස්වර්ගය දෙස බලා, ‘පියාණෙනි, ඔවුන් කරන්නේ කුමක්දැයි ඔවුන් නොදන්නා බැවින් ඔවුන්ට සමාව දුන ‘මැනව කියා කෑගැසුවා.”

ඩරා පුදුමයට පත් විය. “මම හිතන්නේ නැහැ මට කවදාවත් ඒක කරන්න පුළුවන් කියලා.” 

“මම එකඟයි,” ට්‍රේගේ ප්‍රතිචාරය විය. “මමත් එහෙම හිතුවා. මම තරහ ගන්න කෙනෙක්. ඒත් ඔයා දන්නවා, ඩරා, යේසුස්වහන්සේ කිව්වේ ‘ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, ඔබට ශාප කරන අයට ආශීර්වාද කරන්න, ඔබට වෛර කරන්නන්ට යහපත කරන්න, ඔබව නින්දිත ලෙස භාවිතා කරන අය වෙනුවෙන් යාච්ඤා කරන්න’ කියා. යේසුස්වහන්සේ මෙය ඉගැන්වූවා විතරක් නොවෙයි, උන්වහන්සේ ඒවා අනුගමනය කළා. මම මේ දේවල් මෙනෙහි කරලා සුවය ඉල්ලන විට, මම වෙනස් වෙනවා.” 

සමාව නැමැති සුව කිරීමේ බලය

සති කිහිපයක් පුරා, ඩරා යේසුස්වහන්සේගේ මරණය පිළිබඳව මෙන්ම සතුරන්ට ආදරය කිරීම පිළිබඳ උන්වහන්සේගේ ඉගැන්වීම්ද කියවන්නට විය. සොයුරියගේ පවුලේ දැක ඇති පරිදි, තම හදවත දෙවියන්වහන්සේට විවෘත කරමින් යාච්ඤා කළේය. ඔහු තම සිත් වේදනාව හා කෝපය ගැන දෙවියන් වහන්සේට කීවේය. ඔහු තම හදවත සුවපත් කරන ලෙස දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටින විට, කෝපය නැමැති කළු වලාකුළ, කෙමෙන් පහව යන්නට විය.

ට්‍රේ ඩරාගේ වෙනස දුටුවේය. “දෙවියන්වහන්සේ ඔබව වෙනස් කරන බව, මම දකිනවා,” ඔහු ඩරාට පැවසීය. “ඔබ යේසුස්වහන්සේගේ අනුගාමිකයෙක් වෙන්න කැමතිදැ?"යි ඇසීය.

ඩරා සිනාසෙමින්, “ඔව්. දෙවියන්වහන්සේ මාව සුව කිරීමට ක්‍රියා කරනවා. මම යේසුස්වහන්සේගේ අනුගාමිකයෙක් වෙන්නේ කොහොමද?”

ට්‍රේ ඔහුට මෙසේ ඉගැන්වීය. යේසුස්වහන්සේව අනුගමනය කිරීම යනු, අනිත් අනුගාමිකයින් සමඟ එකට එකතු වී, යාච්ඤා කරමින්, උන්වහන්සේ ගැන ඉගෙන ගැනීමත්, බයිබලීය ඉගැන්වීම් අනුගමනය කිරීමත්ය. දෙවියන්වහන්සේගේ සෙනඟ උන්වහන්සේ තමන්ව වෙනස් කළ ආකාරය ගැන අන් අයට පවසන අතර උන්වහන්සේගේ බලය අත්විඳීමට අන් අයට ආරාධනා කරයි. උන්වහන්සේ මේ ලෝකය අලුතින් නිර්මාණය කරන බවට පොරොන්දුවක් තම අනුගාමිකයන්ට දී ඇත.

ඩරා දෙවියන්වහන්සේව අනුගමනය කරන්න තීරණය කළේය. දිනක් ඩරා තම බඩු බාහිරාදිය අසුරමින් සිටින බව දුටු ට්‍රේ, “ඔබ යන්නේ කොහේදැ?"යි කුතුහලයෙන් විමසීය.

“මම ආපහු මගේ බිරිඳගේ ගමට යනවා,” ඩරා කීවේය. “මම ඔවුන්ට සමාව දෙන බව ඔවුන්ට පැවසිය යුතුයි! ඒ වගේම මට තියෙන අලුත් බලාපොරොත්තුවත් ඔවුන් සමඟ බෙදාගන්න අවශ්‍යයි.”

කෝපය, තිත්තකම හෝ මානසික අවපීඩනය, ජය ගැනීමට යේසුස්වහන්සේ ඔබට උපකාර කරන්නේ කෙසේද යන්න ගැන වැඩිදුර දැන ගැනීමට ඔබ කැමති නම්, කරුණාකර මෙම පත්‍රිකාවේ පිටුපස ඇති තොරතුරුවලින් අප හා සම්බන්ධ වන්න.

Copyright © 2023 by Sharing Hope Publications. අවසරයකින් තොරව වාණිජ නොවන අරමුණු සඳහා මුද්‍රණය කර බෙදා ගත හැක.
ශුද්ධ ලියවිල්ල: සිංහල සංශෝධිත පැරණි අනුවාදය ® වෙතින් උපුටා ගන්නා ලදී. ප්‍රකාශන හිමිකම © 2016. ශ්‍රී ලංකා බයිබල් සමාගම. සියලුම හිමිකම් ඇවිරිණි.

අපගේ පුවත් පත්‍රිකා වසඳහා ලියාපදිංචි වන්න

නව ප්‍රකාශන ලබා ගත හැකි විට මුලින්ම දැන ගන්න!

newsletter-cover